තමාට වාසිදායක අවස්ථාවලදී මැතිවරණවලට ඉදිරිපත්වී අවාසිදායක යැයි හැඟෙන විට පසුබා සිටින ප්‍රතිපත්ති විරහිත දේශපාලන ගමනක් තමන්ට නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මහනුවරදී අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ඔහු සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීමට තීරණය කර ඇත්තේ ප්‍රතිපත්තිමය පදනමක් මත බවත්, එම ක්‍රියාවලියේදී පක්ෂ දෙකේම අනන්‍යතාව සුරක්ෂිත කරන බවත්ය. මැතිවරණ ජයග්‍රහණය සඳහා බහුතර ජනතා විශ්වාසය සහ සහයෝගය අවශ්‍ය බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා, මෙය තනතුරු සහ තානාන්තර බෙදා ගැනීම සඳහා කරන එකතුවීමක් නොව රට වෙනුවෙන් සිදුකරන එකතුවීමක් බව ද පැවසීය.
ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ආණ්ඩුව ජනමතයට මුහුණ දීමට බිය වී ඇති බවයි. පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ආණ්ඩුවේ පරාජය තහවුරු වන බව ද ඔහු සඳහන් කළේය. එසේම, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමට සාපේක්ෂව මෙරට ජනතාවට සහනයක් ලබා දෙමින් ඉන්ධන සහ විදුලි බිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස ඔහු රජයට බලකළේය.
එක්සත් ජාතික පක්ෂයට අමතරව රට වෙනුවෙන් ප්‍රතිපත්තිගරුකව වැඩ කිරීමට කැමති වමේ සහ දකුණේ සිටින ඕනෑම පාර්ශ්වයකට තම දේශපාලන ගමන සමඟ එක්විය හැකි බව ද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















