හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ තවත් අයෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති දූෂණ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ ඊයේ (22) කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය. විනිසුරුවරයා නියෝග කළේ නඩුව නැවත ජූලි 30 වන දින කැඳවීමටයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන ධුර කාලය ආරම්භ කිරීම නිමිත්තෙන් 2014 නොවැම්බර් 19 වන දින පුවත්පත් 11ක අතිරේක පළ කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇත. එමගින් රජයට රුපියල් මිලියන 1.7කට අධික මූල්‍ය අලාභයක් සිදු වූ බවත්, එය දූෂණ විරෝධී නීති යටතේ වරදක් බවත් අල්ලස් කොමිසම සඳහන් කරයි.
















