ජාතික පෝෂණ මාසයට සමගාමීව, පාසල් දරුවන්ට ලබාදෙන ආහාරවල පෝෂණ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පවත්වාගෙන යාමේ අත්පොත” එළිදක්වා තිබේ. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේදී මෙම අත්පොත එළිදක්වන ලදී.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය විසින් සකස් කරන ලද මෙම නව මාර්ගෝපදේශවල ප්‍රධාන අරමුණු ලෙස බෝ නොවන රෝගවලින් තොර නීරෝගී පරපුරක් බිහිකිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර සඳහා දරුවන්ට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම, ධනාත්මක ආහාර පුරුදු දරුවන් අතර වර්ධනය කිරීම, සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න ආහාර රටා ප්‍රවර්ධනය කිරීම සහ පාසල් ආපනශාලාවල සනීපාරක්ෂාව හා කළමනාකරණ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම යන කරුණු පෙන්වා දිය හැකිය.
උත්සවය අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, පෝෂණ ගැටලු විසඳීම සඳහා මෙම මාර්ගෝපදේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමයි. දැනුවත්භාවය තිබුණද ඇතැම් පාර්ශ්ව ක්‍රියාමාර්ග ගැනීමට මැලිවීම බරපතළ තත්ත්වයක් බවත්, මෙය රටේ අනාගත ශ්‍රම බලකාය වන දරුවන්ගේ නීරෝගීභාවය සහ ජාතික සංවර්ධනය උදෙසා ගනු ලැබූ දිගුකාලීන පියවරක් බවත් හෙතෙම පැවසීය.
මෑතකාලීන සෞඛ්‍ය දත්තවලට අනුව, දරුවන් අතර මන්දපෝෂණ තත්ත්වයන් මෙන්ම වැඩිහිටියන් අතර තරබාරුකම සහ රක්තහීනතාව වැනි ගැටලු පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි. පාසල් සිසුන් අතර සීනි අධික බීම වර්ග, ලුණු අධික කෑම වර්ග සහ ක්ෂණික ආහාර පරිභෝජනය බහුලව පවතින බව සමීක්ෂණ මගින් තහවුරු වී ඇති අතර, එය පාලනය කිරීමට මෙම වැඩසටහන මගින් අපේක්ෂා කෙරේ.
















