විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, යුනාන් පළාත් ආණ්ඩුකාර වැන්ග් යූබෝ මහතාගේ ආරාධනය මත දසවන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සහ සත්වන චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදයට සහභාගී වීම සඳහා පසුගිය ජූනි 10 සිට 13 දක්වා චීනයේ යුනාන් පළාතේ නිල සංචාරයක නිරත විය.
මෙම සංචාරයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන, කාර්මික සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව වැනි ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට අවධානය යොමු කළේය. යුනාන් විශ්වවිද්‍යාලයේදී අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා පැවැත්වූ ඒ මහතා, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ එක්ව චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා කුටිය විවෘත කළේය.
චීන-දකුණු ආසියානු සහයෝගීතා සංසදයේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, කලාපීය සහයෝගීතාව, ආයෝජන සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළේය. එම සංසදයට සමගාමීව වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය ගුයෙන් සින් නාට් ටෑන් මහතා හමුවී ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීය.
ජූනි 12 වැනි දින යුනාන් පළාතේ උප ආණ්ඩුකාර ෂු හාඕ මහතා සමඟ පැවති සාකච්ඡාවලදී වෙළෙඳ හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමටත්, හවුල්කාරිත්වය සඳහා නව ක්ෂේත්‍ර ගවේෂණය කිරීමටත් එකඟතාව පළ විය. එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා රූපලාවන්‍ය නිෂ්පාදන සහ කේබල් නිෂ්පාදන කම්හල් නිරීක්ෂණය කරමින් කාර්මික සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ලබා ගත්තේය.
සංචාරයේ අවසන් දිනයේදී ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ප්‍රවේශය පුළුල් කිරීමට සහ රටේ අපනයන හා ආයෝජන අවස්ථා ප්‍රවර්ධනය කිරීමට නියෝජ්‍ය අමාත්‍යවරයා ක්‍රියා කළේය. මෙම නිල සංචාරය හරහා ශ්‍රී ලංකාව සහ චීනයේ යුනාන් පළාත අතර පවතින හවුල්කාරිත්වය වඩාත් තහවුරු විය.
















