2021 වසරේ පැවති ‘මිසිස් ශ්‍රී ලංකා’ රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ ඔටුන්න බලහත්කාරයෙන් ගැලවීම සහ එම අවස්ථාවේදී ඇයට තුවාල සිදු කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව, 2026 ඔක්තෝබර් 17 වන දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොරදගම මහතා ප්‍රකාශ කළේය.
මෙම නඩුවේ සැකකාරියන් ලෙස හිටපු ලෝක රූ රැජින කැරොලයින් ජූරි සහ විලාසිතා නිර්මාණ ශිල්පිනී චූලා පද්මේන්ද්‍ර යන අය නම් කර තිබේ. පසුගිය ජුනි 22 දින මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී, නඩුවට අදාළ සියලු සාක්ෂි විභාග කිරීම් සහ කරුණු දැක්වීම් අවසන් වී ඇති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා මෙම නව දිනය නියම කරන ලදී.
2021 වසරේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘මිසිස් ශ්‍රී ලංකා’ රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගයේදී පුෂ්පිකා ද සිල්වා මහත්මිය ජයග්‍රාහිකාව ලෙස ඔටුනු පැළඳීමෙන් සුළු මොහොතකට පසුව, සැකකාරියන් දෙදෙනා වේදිකාවට ගොඩවී ඇයට පහරදී බලහත්කාරයෙන් ඔටුන්න ගලවා දැමූ බවට චෝදනා එල්ල වී ඇත. මෙම සිද්ධිය එවකට රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට හේතු විය.
















