තලවතුගොඩ ප්‍රදේශයේ ස්පා මධ්‍යස්ථාන කිහිපයක සිදුකළ පොලිස් වැටලීම්වලදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාව නීති විරෝධී ලෙස ප්‍රසිද්ධියට පත් කිරීම සම්බන්ධයෙන් නීතිඥයින් සහ ලංකා ස්පා සංගමයේ නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම (HRCSL) වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කළ පාර්ශ්වයන් පෙන්වා දෙන්නේ, තවමත් නීතිය ඉදිරියේ වැරදිකරුවන් ලෙස තහවුරු වී නොමැති කාන්තාවන්ගේ රූපරාමු සහ අනන්‍යතාව සමාජ මාධ්‍ය සහ ප්‍රසිද්ධ මාධ්‍ය හරහා හෙළිදරව් කිරීම ඔවුන්ගේ මූලික මානව අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
මෙම ක්‍රියාව හේතුවෙන් අදාළ කාන්තාවන් සමාජමය වශයෙන් දැඩි අපහසුතාවයට සහ අපකීර්තියට පත්ව ඇති බවත්, පොලිසිය විසින් පවත්වාගෙන ගිය වැටලීම්වලදී අනුගමනය කළ මෙම ක්‍රමවේදය අතිශයින්ම අසංවේදී සහ නීති විරෝධී බවත් ඔවුන් චෝදනා කරයි. සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම විසින් ඉදිරියේදී සිදුකිරීමට නියමිත පරීක්ෂණ කෙරෙහි මේ වන විට සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබේ.
















