ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳහෙළීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලද මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (ජූනි 23) තහවුරු කරන ලදී.
තමන් වහන්සේට පනවා ඇති එම සිරදඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කර තිබූ අභියාචනය ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් මෙම තීන්දුව ලබාදෙනු ලැබීය.
2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය විසින් පවරා තිබූ නඩුවකදී, මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර උන්වහන්සේට මෙම දඬුවම නියම කර තිබුණි. එම තීන්දුවට එරෙහිව ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කළද, මහාධිකරණය විසින් අද දින එය ප්‍රතික්ෂේප කරමින් පහළ අධිකරණයේ තීන්දුව ස්ථිර කරන ලදී.
















