එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය හිමි වී ඇත්තේ විශේෂ කොන්දේසි මාලාවකට යටත්ව බව වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටු වාරය පැවැත්විණි.
නව ලියාපදිංචි කිරීම්: වැට් බදු ගෙවීමේ පිරිවැටුම් සීමාව කාර්තුවකට රුපියල් මිලියන 9 දක්වා අඩු කිරීම නිසා අලුතින් ව්‍යාපාර 10,000ක් පමණ ලියාපදිංචි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඩිජිටල් සේවා: නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඩිජිටල් වේදිකා හරහා සපයන සේවා සඳහා බදු පැනවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කිරීම: දේශීය හා විදේශීය ප්‍රවාහන සේවා සමාගම් අතර පවතින බදු අසමානතාවන් පිළිබඳව කමිටුවේදී සාකච්ඡා විය.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට POS යන්ත්‍ර ලබාගැනීම සඳහා දැරීමට සිදුවන රුපියල් 200,000ක අමතර වියදම සහ නීති කඩකිරීම් සඳහා පනවා ඇති රුපියල් මිලියනයක දඩ මුදල පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රශ්න කළහ. ඔවුන් අවධාරණය කළේ, ව්‍යවසායකයන්ට දඩ නොපනවා, නව බදු ක්‍රමයට අනුවර්තනය වීමට ඔවුන්ට සහාය ලබා දෙන ලෙසයි. POS යන්ත්‍ර භාවිතය දිරිගැන්වීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා එහිදී සඳහන් කළේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමත කිරීමෙන් අනතුරුව, අදාළ රෙගුලාසි සකස් කිරීමේදී නැවත වරක් කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතු බවට තීරණය කර ඇත.
















