මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය මගින් සිදුකළ හෙළිදරව්වකට අනුව, ශ්‍රී ලංකාවේ සිගරට් සඳහා පනවා ඇති බදු ප්‍රතිශතය 67%ත් 69%ත් අතර අගයක පවතී. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර ඇති 75%ක අවම බදු ප්‍රතිශතයට වඩා බෙහෙවින් පහළ අගයකි. පසුගිය දශකය තුළ සිගරට් අලෙවිය 54%කින් පහළ ගොස් තිබුණද, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%ක දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කිරීම, ශ්‍රී ලංකාවේ පවතින බදු ප්‍රතිපත්තියේ ඇති බරපතළ විෂමතා පෙන්වා දෙන්නකි. බදු ප්‍රතිපත්තිය නිසි ලෙස කළමනාකරණය නොකිරීම හේතුවෙන් සිගරට් මිල ඉහළ යාමේ වාසිය ජනතා බදු මුදල් ලෙස රජයට ලැබීම වෙනුවට, සමාගමේ ලාභය ලෙස එම මුදල් පරිවර්තනය වී තිබේ. මෙම තත්ත්වය මගින් සමාගම අසාමාන්‍ය ලාභයක් ලබන අතරම, බදු ආදායම අහිමි වීමෙන් රජයට සිදුවන මූල්‍ය පාඩුව සහ මහජන සෞඛ්‍යයට සිදුවන හානිය තවදුරටත් උග්‍ර වී ඇත. මෙම බදු ප්‍රතිපත්තිවල පවතින අසාධාරණකම් සහ ආයතනික අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ජාතික අවශ්‍යතාවක් බව සිවිල් සංවිධාන අවධාරණය කර සිටී.
















