රටේ ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් ගොඩනැගීමේ අරමුණින්, ඇඟලුම් ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග මෙන්ම, අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) නව අපනයන සැලැස්ම සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීම මගින් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා එක්වන ලෙස ආයෝජකයන්ට ආරාධනා කළේය.
වැට් (VAT) බදු ක්‍රමය හේතුවෙන් දේශීය අමුද්‍රව්‍ය සපයන්නන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය. ඒ වෙනුවෙන් ලබා දිය හැකි සහන පිළිබඳ යෝජනා කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාවට උපදෙස් දෙනු ලැබිණි. තවද, වෙළෙඳපොළ අවස්ථා ඉහළ නංවා ගැනීම සඳහා නිදහස් වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීමේ වැදගත්කම සහ කෝටා ප්‍රමාණයන් ඉහළ නංවා ගැනීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා විය.
රටේ ධනය අයථා ලෙස විදේශයන්ට ගලා යාම වැළැක්වීමේ අත්‍යවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, ඒ සඳහා නීතිමය සහ තාක්ෂණික ක්‍රමවේද ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
















