මෙරට නිල සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපූර් (Paul Kapur) මහතා සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන පංගුවෙන් විශාල කොටසක් ඇමරිකාව විසින් දරනු ලබන අතර, එම වෙළෙඳ සහයෝගීතාව දෙරටටම ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය. ඒ වෙනුවෙන් දෙරට අතර පවතින වෙළෙඳ ගිවිසුමේ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර ගැනීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
එමෙන්ම, මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය පිළිබඳවද අදහස් හුවමාරු කරගත් ජනාධිපතිවරයා, එම කලාපය තිරසර සාමය කරා ගමන් කරනු ඇතැයි විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාව අනුගමනය කළ මානුෂීය ප්‍රතිපත්තිය සිහිපත් කළ ජනාධිපතිවරයා, කලාපයේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් ශ්‍රී ලංකාව සැමවිටම උපරිම සහාය ලබා දීමට සූදානම් බව අවධාරණය කළේය.
















