ඉදිරියේදී ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති එල් නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් රටට සිදුවිය හැකි බලපෑම් අවම කර ගැනීම සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. මෙම වැඩපිළිවෙළ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය කරමින් ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සඳහා පරිසර අමාත්‍ය දම්මික පටබැඳි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන අමාත්‍යවරුන් පත් කර ඇත. මීට අමතරව, මෙම අනුකමිටුවට අවශ්‍ය සහාය ලබා දීම සඳහා නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් ද පත් කිරීමට කටයුතු යොදා ඇත.
















