කොළඹ (ජූනි 23): රජයේ සහ පෞද්ගලික පාසල්වල දැනට 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන, එනම් 2027 වසරේදී උසස් පෙළ විභාගයට පළමුවරට පෙනී සිටීමට නියමිත ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග දෙපාර්තමේන්තුව පවසන පරිදි ජූනි මස 22 වනදා සිට ලබන ජූලි මස 16 වනදා දක්වා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ පමණක් මෙම අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ. මෙම විභාගය සඳහා සිසුන්ට පෞද්ගලිකව අයදුම් කළ නොහැකි අතර, සියලුම අයදුම්පත් තමන්ගේ විදුහල්පතිවරයා හෝ පාසල් ප්‍රධානියා මාර්ගයෙන්ම යොමු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
ඒ අනුව විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස, තමන් වෙත ලබාදී ඇති පරිශීලක නාම (Username) සහ මුරපද (Password) භාවිත කරමින් මෙම අයදුම්පත් ඇතුළත් කළ යුතුය. මාර්ගගතව අයදුම්පත් යොමු කිරීමෙන් පසු එහි මුද්‍රිත පිටපතක් (Printout) ලබාගෙන, අවශ්‍යතාවකදී ඉදිරිපත් කිරීම සඳහා විදුහල්පතිවරුන් තමන් භාරයේ සුරක්ෂිතව තබාගත යුතු වේ.
පෞද්ගලික පාසල් සිසුන්ගේ අයදුම්පත් දත්ත පද්ධතියට ඇතුළත් කිරීමෙන් අනතුරුව අදාළ විභාග ගාස්තු ගෙවිය යුතු අතර, ගාස්තු ගෙවීම් අවසන් වූ පසු නැවත අලුතින් සිසුන් ඇතුළත් කළ නොහැකි බව ද දන්වා ඇත. මෙම අයදුම්පත් යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසියම් විමසීමක් පැවැත්වීමට අවශ්‍ය වන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක ඇමතීමට හැකියාව පවතී.
















