ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නොමිලේ පිරිනමන ලද ‘TH-57 Sea Ranger’ වර්ගයේ නවීන හෙලිකොප්ටර් යානා 10ක් නිල වශයෙන් භාර දී තිබේ. රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී පැවැත්වුණු විශේෂ උත්සවයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඇමරිකානු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මෙම යානා භාරදීම සිදුකෙරුණි.
ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ නිෂ්පාදිත මෙම හෙලිකොප්ටර් යානා මීට පෙර ඇමරිකානු නාවික හමුදාව විසින් නියමුවන් පුහුණු කිරීම සඳහා සක්‍රීයව භාවිත කරන ලද ඒවා වේ. ඕනෑම හදිසි මෙහෙයුමකට සූදානම් මට්ටමින් පවතින මෙම යානා 10 මෙරටට ලැබීම, ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කිරීමට මෙන්ම මුහුදු සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමට විශාල පිටුවහලක් වනු ඇත.
ලෝකයේ කාර්යබහුලම මුහුදු මාර්ගයන් මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව සහ ඉන්දීය සාගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර ගත් බව ඇමරිකානු නියෝජිතයෝ මෙහිදී ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවට ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ පිරිසක් ද එක්ව සිටියහ.
















