යුරෝපය පුරා පවතින අසාමාන්‍ය සහ දැඩි සූර්ය තාපය හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා විඳිමින් සිටින අතර, පවතින දරුණු රස්නයෙන් බේරීම සඳහා ගංගා ඇළ දොළවලින් දිය නෑමට ගිය පුද්ගලයින් 40 දෙනෙකු පසුගිය සතිය තුළ පමණක් ප්‍රංශයේදී දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගිය පිරිසෙන් බහුතරය තරුණ තරුණියන් බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකෝර්නු මහතා ප්‍රකාශ කළේය. පවතින දරුණු කාලගුණය හේතුවෙන් ප්‍රංශයේ ප්‍රදේශ භාගයකට වඩා වැඩි ප්‍රමාණයකට (දිස්ත්‍රික්ක 54කට) මේ වන විට රතු නිවේදන නිකුත් කර ඇත.
ප්‍රංශයට අමතරව ඉතාලිය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය ද මෙම දැඩි තාප තරංගයෙන් (Heat Wave) දැඩි ලෙස බැටකමින් සිටී. මෙම තත්ත්වය 15,000කට අධික පිරිසක් මියගිය 2003 වසරේ දරුණු කාලගුණයට සමාන විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස නිසා ඉදිරි වසර පහ තුළ ලෝක උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තවලට අනුව ලෝකයේ අනෙක් මහාද්වීපවලට වඩා දෙගුණයක වේගයකින් යුරෝපය උණුසුම් වෙමින් පවතින අතර, පසුගිය වසර හතර තුළ පමණක් යුරෝපය පුරා ලක්ෂ දෙකකට අධික පිරිසක් අධික උණුසුම නිසා හටගත් සෞඛ්‍ය සංකූලතාවලින් මියගොස් තිබේ.
















