පොදු ප්‍රවාහන සේවාව ආරක්ෂිත කිරීමේ ජාතික වැඩසටහන යටතේ, නාවින්න බස් නැවතුම්පොළේදී අද (23) දින ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් ඉලක්ක කරගනිමින් අහඹු ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් (Urine Test) සිදුකර තිබේ. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැටලීම සංවිධානය කර තිබුණි.
උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා පැය 3ක් වැනි කෙටි කාලයක් තුළ රියදුරන් සහ කොන්දොස්තරවරුන් 200 දෙනෙකුගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කර ඇති අතර, ඉන් 13 දෙනෙකුම විවිධ මත්ද්‍රව්‍ය භාවිත කර සේවයේ නිරතව සිට ඇති බවට තහවුරු වී තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ දත්තවලට අනුව, 2026 ජනවාරි මාසයේ සිට ජූනි 12 දක්වා කාලය තුළ මෙලෙස රියදුරන් සහ කොන්දොස්තරවරුන් 4,322 දෙනෙකු අහඹු පරීක්ෂාවලට ලක් කර ඇත. එහිදී 226 දෙනෙකුම ‘අයිස්’, හෙරොයින් හෝ ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිත කර බස් රථ ධාවනය කර ඇති බව බරපතළ ලෙස අනාවරණය වී තිබේ. මගී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ජංගම පරීක්ෂණ ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.
















