වැට් (VAT) බදු ලියාපදිංචි කිරීමේ වාර්ෂික පිරිවැටුම් සීමාව රුපියල් මිලියන 60 මට්ටමේම පවත්වා ගැනීමට රජයට සිදුවූයේ මහජනතාවගෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම නිසා බව විපක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. වැට් ලියාපදිංචි වීමේ සීමාව පහළ දමා තවත් කුඩා ව්‍යාපාර රැසක් බදු දැලට හසුකර ගැනීමට රජය උත්සාහ කළ බවත්, එය ව්‍යර්ථ කිරීම මහජනතාව ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් ඔහු පෙන්වා දෙයි.
රජයේ මුල් සැලසුම අනුව වැට් බදු ලියාපදිංචි නොවන සුළු පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා රුපියල් මිලියනයක් (ලක්ෂ 10ක්) දක්වා දඩ පැනවීමට පවා සලකා බලා තිබූ බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය. රටේ ප්‍රධාන පෙළේ බදු පැහැර හැරීම් සහ බදු එකතු කිරීමේ දුර්වලතා රැසක් පවතිද්දී, මෙලෙස සුළු ව්‍යාපාරිකයා මත බර පැටවීම අසාධාරණ බව ඔහු පවසයි. මෙම ගැටලුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී (COPF) සහ පාර්ලිමේන්තුවේදී තදින්ම මතුකළ බවත්, බදු ප්‍රතිසංස්කරණ සිදුවිය යුත්තේ සාධාරණ සහ සමබර අයුරින් බවත් හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















