ලෝක ආර්ථික සංසදයේ 17 වන වාර්ෂික රැස්වීම හෙවත් ‘ගිම්හාන ඩාවෝස් සංසදය’ (Summer Davos) අද (23) චීනයේ ඩේලියන් (Dalian) නගරයේදී උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. දින තුනක් පුරා පැවැත්වෙන මෙම දැවැන්ත සමුළුව සඳහා ලොව පුරා රටවල් සහ කලාප 90කට වැඩි ප්‍රමාණයකින් ව්‍යවසායකයින්, විද්වතුන් සහ දේශපාලනඥයින් 1,700කට අධික පිරිසක් සහභාගී වී සිටින අතර, එය සංසද ඉතිහාසයේ වාර්තාගත සහභාගීත්වයක් ලෙස සටහන් වේ.
මෙවර සංසදයේ ප්‍රධානතම මාතෘකාව බවට පත්ව ඇත්තේ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණයයි. පෙර වසරවලට වඩා වෙනස් මුහුණුවරකින් යුතුව, මෙවර සංසදයේදී AI තාක්ෂණය භාවිතයේදී මතුවන ප්‍රායෝගික දුෂ්කරතා, සැබෑ අභියෝග, එමඟින් ආර්ථික ප්‍රතිලාභ උපදවා ගන්නා ආකාරය සහ එහි ඇති අවදානම් අවම කරගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඇත. මීට අමතරව ‘පරිමාණ නවෝත්පාදනය’ යටතේ බැටරි තාක්ෂණය, හරිත නිෂ්පාදන කර්මාන්ත, ඊ-වාණිජ්‍ය ගෝලීයකරණය, මූල්‍ය ආරක්ෂාව මෙන්ම කලා සහ සංස්කෘතික ක්ෂේත්‍රයේ නවෝත්පාදනයන් පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.
















