සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් (Singhe Capital Investment Limited) ආයතනය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ලෙස මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව තහවුරු කරගෙන තිබේ. මහ බැංකුව විසින් සිදුකළ විශේෂ විමර්ශනයකින් පසු මෙම නීති විරෝධී ක්‍රියාවට අදාළ සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය සෘජුවම වගකිවයුතු බව අනාවරණය වී ඇත.
ඒ අනුව, මහජනතාවගෙන් තැන්පතු මුදල් ලබාගැනීම වහාම අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිංහ කැපිටල් ආයතනයට සහ එහි අධ්‍යක්ෂවරුන්ට නියෝග කර තිබේ. කිසියම් මූල්‍ය ආයතනයක මුදල් ආයෝජනය කිරීමට හෝ තැන්පත් කිරීමට පෙර, එම ආයතන මහ බැංකුවේ නිසි ලියාපදිංචිය සහ අවසරය ලබා ඇති නීත්‍යානුකූල ආයතන ද යන්න පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















