මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. එහිදී මෙම යල කන්නයේ වී මිලදී ගැනීම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් වෙන් කරන ලෙස ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
පසුගිය වසරේ යල කන්නයේ මිලදී ගත් වී තොග තවමත් ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොළට යොමු නොවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම ගබඩා කඩිනමින් නිදහස් කර ගැනීමට ගතයුතු පියවර පිළිබඳව ද සොයා බැලීය. ඉදිරියේදී මතුවිය හැකි දේශගුණික තත්ත්වයන් සැලකිල්ලට ගෙන රට තුළ ආරක්ෂිත වී තොග පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා ගබඩාවල තත්ත්වය සහ ආරක්ෂිත තොග පිළිබඳ නිවැරදි දත්ත පද්ධතියක් (Data System) සකස් කරන ලෙසත් නිලධාරීන්ට නියෝග කෙරුණි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වී අලෙවි මණ්ඩලයේ උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















