මෙම වසර සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ලබා දී ඇති රුපියල් බිලියන 2,401ක දැවැන්ත බදු ආදායම් ඉලක්කයෙන් $50%$ක ප්‍රමාණයක් මේ වන විටත් සපුරා ගැනීමට සමත්ව ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තු මූලස්ථානයේදී ඊයේ (23) පැවති විශේෂ ජනමාධ්‍යවේදී වැඩමුළුවක සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
දෙපාර්තමේන්තුවේ වත්මන් බදු ලිපිගොනු ලියාපදිංචි කිරීම් පිළිබඳ කරුණු පැහැදිලි කළ කොමසාරිස් ජනරාල්වරිය, මේ වන විට පුද්ගල ආදායම් ලිපිගොනු ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් සහ සමාගම් ලිපිගොනු එක්ලක්ෂ තිස්දහසක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති බව කියා සිටියාය. මෙරට බදු පදනම තවදුරටත් පුළුල් කරමින්, බදු ගෙවිය යුතු සෑම පුද්ගලයකුගෙන්ම සාධාරණ ලෙස බදු අය කර ගැනීමට දෙපාර්තමේන්තුව කැපවී සිටින බව ඇය අවධාරණය කළාය.
2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනත පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධාන කර තිබූ අතර, බදු ක්‍රමවේදය විධිමත් කිරීම සඳහා අවශ්‍ය සංශෝධිත අණපනත් රාශියක් ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් මේ වන විටත් කෙටුම්පත් කර ඉන් බොහොමයක් පාර්ලිමේන්තුවේදී සම්මත කරගෙන ඇති බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.
















