විෂ මත්ද්‍රව්‍ය භාවිත කර රථවාහන පදවා පසුගිය මාස 05 තුළ පොලීසියට කොටු වූ රියැදුරන් 7,500කගේ රියැදුරු බලපත්‍ර (Licence) තහනම් කර ඇති බව මාර්ග ආරක්ෂාව හා රථවාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය. මින් ඇතැම් බලපත්‍ර ජීවිත කාලයටම තහනම් කර ඇති අතර, තවත් ඒවා වසර 5 සහ 10 බැගින් අසාදු ලේඛනගත කර තිබේ. මෙලෙස හසුවූවන්ගෙන් බහුතරය මාරක රිය අනතුරුවලට සම්බන්ධ, විධිමත් රියැදුරු පුහුණුවක් හෝ නිසි බලපත්‍රයක් නොමැති පිරිස් බව ද හෙළි වී ඇත.
රියැදුරු පාසල් (Driving Schools) නියමිත ප්‍රමිතියකින් තොරව සහ බලපත්‍ර රහිතව පවත්වාගෙන යාම මෙම අනතුරුවලට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින්, ව්‍යාජ රියැදුරු පාසල් වැටලීමේ විශේෂ මෙහෙයුමක් දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කළේය. එමෙන්ම, ඉදිරි පොසොන් උත්සව සමය වෙනුවෙන් විශේෂ රථවාහන සැලසුම් සහ මෙහෙයුම් මේ වන විටත් අරඹා ඇති බව ඔහු සඳහන් කළේය.
මෙහිදී විශේෂ නිවේදනයක් කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා, දිවයිනේ කුමන ස්ථානයක මාර්ග අනතුරක් සිදු වුවද පැය 24ක් ඇතුළත ඒ පිළිබඳව පොලීසිය දැනුවත් කිරීම අනිවාර්ය බව කියා සිටියේය. කිසිදු රිය අනතුරක් පොලීසියට වංචා කරමින් රහසිගතව ‘ගොඩින් බේරා ගැනීමට’ ඉඩ නොදෙන ලෙස පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථාන වෙත දැඩි නියෝග නිකුත් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
















