21 වැනි ආසියා – පැසිෆික් සහයෝගිතා මෙහෙයුම් කමිටු රැස්වීම (CASP – AP) සහ 14 වැනි ආසියා – පැසිෆික් ගුවන් ආරක්ෂක සම්බන්ධීකරණ සංසදය ඊයේ (23) මීගමුවේදී ආරම්භ විය. ජූනි 26 දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 21ක නියෝජිතයන් 80 දෙනෙක් සහභාගි වී සිටිති.
වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ටාඕ මා මහතා ද මෙයට එක් විය.
2026 – 2027 කාලසීමාව සඳහා CASP – AP මෙහෙයුම් කමිටුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමි වූ අතර, එම ගෞරවය ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා වෙත පිරිනැමිණි.
ගුවන් ආරක්ෂක අභියෝග, ගෝලීය ප්‍රවණතා, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරේ.
මෙම සමුළුවට සත්කාරකත්වය දැක්වීම තුළින් ආසියා පැසිෆික් කලාපයේ ගුවන් ආරක්ෂක ක්ෂේත්‍රයේ විශ්වසනීය හවුල්කරුවකු ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් පිළිගැනීමට ලක් වනු ඇත.
සිවිල් ගුවන්සේවා පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීම, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ගුවන්සේවා සබඳතා වැඩිදියුණු කිරීම මෙහි අපේක්ෂිත අරමුණු වේ.
විදේශ නියෝජිතයන් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන නැරඹීමට අවස්ථාව සැලසෙන අතර, එය රටේ සංචාරක ආකර්ෂණීයත්වය වර්ධනයට හේතු වනු ඇත.
















