විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගය කරමින්, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විදෙස්ගත ශ්‍රමික දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක් තංගල්ලේදී සිදු කෙරිණි.
පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ශිෂ්‍යත්වලාභීන් 43 දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.18ක මුදලක් පිරිනමන ලදී.
පහ වසර ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් 28 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 25,000 බැගින් රුපියල් 700,000ක් පිරිනැමිණි.
අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දූ දරුවන් 12 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 30,000 බැගින් රුපියල් 360,000ක් පිරිනැමිණි.
අ.පො.ස. උසස් පෙළ සමත්ව වැඩිදුර අධ්‍යාපනය ලබන දූ දරුවන් 03 දෙනෙකු සඳහා එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 120,000ක් පිරිනැමිණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ, වත්මන් රජයේ මූල්‍ය විනය සහ විශ්වාසය හේතුවෙන් විදෙස් ප්‍රේෂණ වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි. පසුගිය 2025 වසරේදී අමෙරිකානු ඩොලර් බිලියන 8 ඉක්මවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබුණු බවත්, එම ප්‍රවණතාව මෙම වසරේදී ද තවදුරටත් වර්ධනය වෙමින් පවතින බවත් ඔහු පැවසීය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ඇති ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
















