නැගෙනහිර පළාතේ සිදුවන නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීම්, අනවසරයෙන් ගොඩකිරීම් සහ වෙරළාශ්‍රිත ඉදිකිරීම් මැඩපැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව මගින් පළාතේ පවතින සමාජ, ආර්ථික සහ පරිපාලනමය ගැටලු විසඳීම අරමුණු කෙරේ.
මෙම නව තීරණයට අදාළ ප්‍රධාන කරුණු පහත දැක්වේ:
“නැගෙනහිර පළාතේ ඉඩම් සුරැකීම” නමින් විශේෂ කමිටුවක් පත් කෙරේ. දකුණු පළාතේ හිටපු ඉඩම් කොමසාරිස් සහ වත්මන් පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අදාළ ආයතනවල නියෝජිතයන් ඇතුළත් වේ.
නීතිවිරෝධී ඉඩම් අත්පත් කරගැනීම් සහ ගොඩකිරීම් වළක්වා ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ (DIG) ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට අනුමැතිය ලැබී ඇත. ආරක්ෂක අංශ වෙත ඒ සඳහා පූර්ණ බලතල ලබා දීමට ද පියවර ගෙන ඇත.
මහවැලි අධිකාරිය මගින් වාණිජ කටයුතු සඳහා වෙන් කර දී වසර 5කට වැඩි කාලයක් ගතවී ඇතත් සංවර්ධන කටයුතු ආරම්භ කර නොමැති ඉඩම් නැවත රජයට පවරා ගැනීමට තීරණය කර ඇත. එම ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සඳහා යොදා ගැනීමට නියමිතය.
නැගෙනහිර වෙරළ තීරයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා නව සැලැස්මක් සකස් කිරීමටත්, වෙරළාශ්‍රිතව පවත්වාගෙන යන හෝටල් සම්බන්ධයෙන් නීතිය විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය යාන්ත්‍රණයක් සැකසීමටත් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
















