තමන්ගේ පෞද්ගලික වාහනවලින් කොළඹ නගරයට පැමිණෙන ජනතාව ඉලක්ක කරගනිමින් නවතම සුඛෝපභෝගී මෙට්‍රෝ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙම නව සේවාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, දැනට පවතින සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරනු ලබන මෙම සේවාව මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ නවතම සුඛෝපභෝගී කාණ්ඩය ලෙස හඳුන්වා දෙන බවයි.
මෙම මෙට්‍රෝ බස් රථ සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත්තේ මින් පෙර කිසිදු බස් රථ සේවාවක් ධාවනය නොවූ, අලුතින් හඳුනාගත් විශේෂිත මාර්ග ඔස්සේ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි. කොළඹ නගරයට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව අවම කරමින් නගරයේ රථවාහන තදබදය පාලනය කිරීම සහ ජනතාවට වඩාත් පහසු සහ ගුණාත්මක ප්‍රවාහන අත්දැකීමක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වී තිබේ.
මෙම ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහන ක්ෂේත්රයේ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ කාර්යක්ෂම ගමනාගමන රටාවක් ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ. සාමාන්‍ය බස් සේවාවලට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවුවද, පෞද්ගලික වාහන භාවිත කරන පිරිස් මෙට්‍රෝ බස් රථ වෙත ආකර්ෂණය කර ගැනීම මගින් කොළඹ මාර්ගවල පවතින තදබදය ඉදිරියේදී යම්තාක් දුරකට අවම කර ගත හැකි වනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කරයි.
















