පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම සලකා බැලීම ජූලි මස 06 සහ 09 යන දිනවලට කල් තැබීමට අභියාචනාධිකරණය අද (24) තීරණය කළේය. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම දෙවැනි දිනටත් සලකා බලන ලදී.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාස්කු ප්‍රහාරය ගැන සෙවූ ජනක් ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කොමිසම, ජයකී ද අල්විස් කොමිසම හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවල කිසිදු තැනක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන්ව නොමැති බවයි. එමෙන්ම රාජකාරි පැහැරහැරීම සම්බන්ධයෙන් විභාග වූ ශ්‍රේෂ්ඨාධිකරණ සත්පුද්ගල නඩු තීන්දුවේ ද ඔහුගේ නම සඳහන්ව නැතැයි පෙන්වා දුන් නීතිඥවරයා, සහරාන් හෂීම්ගේ අන්තවාදී වැඩ ගැන 2017 සිට බුද්ධි අංශ දැනුම් දී තිබියදී සහ පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවට ගොනුවක් දී තිබියදීත් ඒ ගැන විමර්ශන නොකළ අය, අද වගකීම් විරහිතව ගෝඨාභය රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට චෝදනා කළේය.
තවද, පිල්ලෙයාන් සහ කරුණා සමඟ දේශපාලන රැස්වීම්වලදී ගත් ඡායාරූප පෙන්වමින් නීතිපති දෙපාර්තමේන්තුව ද්වේෂසහගතව සහ වංක චේතනාවකින් තමන්ගේ සේවාදායකයාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිරීමට උත්සාහ කරන බව ද ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය. බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ (Channel 4) නාලිකාවට අසත්‍ය ප්‍රකාශ කරමින් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතන, ලංකාවේ අධිකරණ පද්ධතියම දූෂිත යැයි පවසන සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සියලු අපරාධ රාජපක්ෂවරුන් පිට පැටවීමට තැත් කරන අසාද් මවුලානා වැනි පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව හිටපු ජනාධිපතිවරයෙකුව අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, පෙත්සමේ වැඩිදුර කරුණු දැක්වීම් ජූලි මස මුලදී සිදු කිරීමට අවසර ඉල්ලා සිටියේය.
















