දසවන පාර්ලිමේන්තුව සඳහා පිහිටුවන ලද ශ්‍රී ලංකා – බහරේන් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා තේරී පත් විය. මෙම සංගමය පිහිටුවීමේ රැස්වීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (23) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
එහිදී තේරී පත් වූ සෙසු නිලධාරීන්:
ලේකම්: පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා.
භාණ්ඩාගාරික: පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුෂ්කා තිලකරත්න මහත්මිය.
උප සභාපතිවරුන්: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කවීන්දිරන් කෝඩීස්වරන්, අබූබකර් අතම්බාවා, කේ. කාදර් මස්තාන් සහ හෙක්ටර් අප්පුහාමි යන මහත්වරුන්.
සහකාර ලේකම්වරුන්: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය ඉලෙයියතම්බි සිරිනාත් සහ ලාල් ප්‍රේමනාත් යන මහත්වරුන්.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ කථානායකවරයා, 1992 වසරේ ආරම්භ වූ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව වර්ධනය වී ඇති බවත්, පාර්ලිමේන්තු මට්ටමේ සංවාද සහ සහයෝගීතාව වර්ධනය කිරීමට මෙම මිත්‍රත්ව සංගමය වැදගත් වේදිකාවක් වනු ඇති බවත් සඳහන් කළේය.
නව සභාපතිවරයා ලෙස අදහස් දක්වමින් අමාත්‍ය දම්මික පටබැඳි මහතා අවධාරණය කළේ, වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මට්ටමින් සක්‍රීය මැදිහත්වීමක් සිදු කරන බවයි. බහරේනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ සුබසාධනය සහ දෙරටේ ආර්ථික දියුණුව උදෙසා මෙම සංගමය හරහා කැපවී කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
















