එළඹෙන එල් නීනෝ සහ ලා නීනා දේශගුණික තත්ත්වයන් හේතුවෙන් රට තුළ ඇතිවිය හැකි බලශක්ති, ආහාර සහ ජල සුරක්ෂිතතා අර්බුදයන්ට මුහුණ දීම සඳහා ජාතික මට්ටමේ පෙර සූදානමක් සහ ජනාධිපති කාර්ය සාධක බලකායක් වහාම ස්ථාපනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.ආපදා කළමනාකරණය: දේශගුණික විපර්යාසයන් ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා, නියඟය සහ ගංවතුර තත්ත්වයන් පාලනය කිරීම සඳහා විධිමත් ආපදා කළමනාකරණ ක්‍රියාවලියක් ශක්තිමත් කළ යුතු බවත්, ඒ සඳහා පූර්ව සූදානම අත්‍යවශ්‍ය බවත් ඔහු පැවසීය.යෝජිත පාරිසරික පනතේ ඇති සාධනීය කරුණු මෙන්ම එහි පවතින අඩුපාඩු ද පෙන්වා දුන් මන්ත්‍රීවරයා, පාරිභෝගිකයන් මත බදු බර නොපටවා නිෂ්පාදකයාගේ වගකීම (Extended Producer Responsibility) නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතු බව කියා සිටියේය. එමෙන්ම, මධ්‍යම පරිසර අධිකාරියේ පවතින මානව සහ භෞතික සම්පත් හිඟය විසඳීමට පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන්ගේ උසස්වීම් වසර ගණනාවක් ප්‍රමාද වී ඇති බවත්, වැටුප් ව්‍යුහයන්හි පවතින අසාධාරණයන් සහ ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් ස්ථිර නොකිරීම වැනි ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය යොමු කළේය.උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ට සූදානම් වීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දීමේ අවශ්‍යතාවය ද මෙහිදී ඔහු මතු කළේය. වී ගොවීන්ට පොහොර, බීජ සහ උපකරණ සඳහා දරාගත නොහැකි වියදමක් දැරීමට සිදුව ඇති බවත්, අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොලැබීම හේතුවෙන් ගොවි පවුල් දැඩි අසරණභාවයට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළේය. රජය මැතිවරණ සමයේදී ගොවියාට පොරොන්දු වූ වී මිල ලබා දීමට අපොහොසත් වී ඇති බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
















