මෙරට තේ ක්ෂේත්‍රයේ ජාතික ඉලක්ක සපුරාලීමට සහ කුඩා තේ වතු කර්මාන්තය වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක තලයකට ඔසවා තැබීමේ අරමුණින්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියට වසර 7ක කාලයකට පසුව නව නිලධාරීන් 25 දෙනෙකු බඳවා ගැනීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සෘජු මඟපෙන්වීම යටතේ සිදු කෙරුණු මෙම බඳවා ගැනීම මෙරට කුඩා තේ වතු ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. 2019 වසරෙන් පසුව, එනම් වසර 7ක පමණ දීර්ඝ කාලයකින් පසු කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පැවති පුරප්පාඩු විශාල ප්‍රමාණයක් එකවර සම්පූර්ණ කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
මෙම බඳවා ගැනීම් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව, සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම ලකුණු ලැබූ සුදුසුකම්ලත් පුද්ගලයින් සඳහා පමණක් ලබාදීම විශේෂත්වයකි. මෙම නවක නිලධාරීන් ගාල්ල, මාතර, රත්නපුර, මහනුවර, නුවරඑළිය, ඌව සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කාර්යාලවල සේවා කටයුතු ශක්තිමත් කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇත.
පත්වීම් ප්‍රදානෝත්සවය අමතමින් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ, නව නිලධාරීන්ගේ පැමිණීම තේ කර්මාන්තයේ ඉදිරි ගමනට විශාල ශක්තියක් වන බවයි. රාජ්‍ය සේවයේ වගකීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා, කාර්යාලීය පුටුවලට පමණක් සීමා නොවී, ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලුවලට සංවේදීව විසඳුම් ලබා දෙන ක්‍රියාශීලී නිලධාරී පිරිසකගේ අවශ්‍යතාව රටට පවතින බව පෙන්වා දුන්නේය. රාජ්‍ය සේවය යනු මහජන සේවය පෙරදැරි කරගත් ක්ෂේත්‍රයක් බවත්, රටේ නව සංවර්ධන ගමන වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කළ යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පුරප්පාඩුව පවතින ඉතිරි තේ පරීක්ෂක සහ ව්‍යාප්ති නිලධාරීන් ද ඉතා කඩිනමින් බඳවා ගනිමින් රජයේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
















