පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයකු ලෙස පෙනී සිටිමින් රටම කළඹමින් මහා පරිමාණ මූල්‍ය වංචා සහ ඝාතනයක් සිදුකළ 43 හැවිරිදි චම්පික ශ්‍රියාන් ජයසුන්දර නමැත්තා සහ ඔහුගේ අනියම් බිරිඳ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
වල්කැලේ ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු තමන් පේරාදෙණියේ හෝටල් සහ තේ වතු හිමි ප්‍රභූ පවුලකින් පැවත එන්නෙකු බව පවසමින් ඉතා සුඛෝපභෝගී ජීවන රටාවක් මවාපාමින් කාන්තාවන් රැසක් සිය වංචනික දැලට හසුකරගෙන ඇත. සැබෑ අනන්‍යතාවය වසා ගැනීමට ව්‍යාජ නම් දෙකක් භාවිත කර ඇති ඔහු, විවාහ වීමේ පොරොන්දුව මත තරුණියන් තිස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් කෝටි ගණනක මුදල් සහ දේපළ වංචා කර තිබේ.
වංචනික ජාලය යටතේ සැකකරුගේ 35 හැවිරිදි අනියම් බිරිඳ මෙම අපරාධ සඳහා සෘජුවම සහාය ලබා දී ඇති අතර, ඇය ඇතැම් අවස්ථාවල වින්දිත කාන්තාවන් ඉදිරියේ සැකකරුගේ බාල සහෝදරිය ලෙස පෙනී සිට ඇත. ඔවුන් දෙදෙනා දරුවන් තිදෙනෙකුගේ දෙමව්පියන් වේ.
භෞත චිකිත්සකවරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුගේ අපරාධ ඉතිහාසයේ අවාසනාවන්තම ගොදුර වූ රත්නායක පතිරණගේ ශාමා දර්ශනී නමැති භෞත චිකිත්සකවරියව කැනඩාවේ පදිංචියට රැගෙන යන බව පවසා නුවරඑළියේ හෝටල් කාමරයකදී ගෙල සිරකර ඝාතනය කර තිබේ. ඇය සියදිවි නසාගත් බව ඇඟවීමට සැකකරු රසායනික ද්‍රව්‍යයක් ශරීරගත කර තිබීම ද විශේෂත්වයකි.
අතිශය අමානුෂික හැසිරීම ලෙස ඝාතනය සිදු කිරීමෙන් පසු, එම තරුණියගේ මළ සිරුර මෝටර් රථයේ ඉදිරිපස අසුනේ තබාගෙන, තම අනියම් බිරිඳ සහ දරුවන් තිදෙනා ද සමඟ මහනුවර මිතුරෙකුගේ නිවසක් වෙත ගමන් කර පසුව එම රථය තෙල්දෙණිය රෝහල් රථ ගාලක දමා පලා ගොස් තිබේ.
අත්අඩංගුවට ගැනීම සිදුවූයේ රටින් පලා යාමට සූදානම්ව සිටි සැකකරු සහ අනියම් බිරිඳ, වෙස්වලාගෙන වෙල්ලවත්තේ සිට යාපනය බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක ගමන් කරමින් සිටියදී කයිතඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ වලාන දූෂණ මර්දන බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකිනි.
මීට අමතරව ගම්පහ, අලුත්කඩේ, තිස්සමහාරාමය, කඩුවෙල සහ හොරණ යන අධිකරණවල මොහුට එරෙහිව නඩු රැසක් පවතින අතර, බොහෝ නඩුවලට පෙනී නොසිටීම නිසා වරෙන්තු ද නිකුත් වී ඇත. සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය මූලස්ථාන පොලීසිය වෙත භාර දී ඇත.
















