භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේදී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය වහාම අහෝසි කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධ සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය ශ්‍රී ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටියි. මෙම ක්‍රමවේදය හේතුවෙන් 2025 වසරේ පමණක් රජයට රුපියල් බිලියන 40ක බදු ආදායමක් අහිමි වී ඇති අතර, නිවැරදි ක්‍රියාමාර්ග නොගතහොත් 2026 වසරේදී ද එවැනිම අලාභයක් සිදුවිය හැකි බව එම සංගමය පෙන්වා දෙයි.
මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් ජාතික සංවර්ධනයට සහ මහජන සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් අහිමි වන බවත් සංගමය අවධාරණය කරයි. ආනයනය කරනු ලබන බොහෝ භාවිතා කරන ලද වාහන ඉතා කෙටි දුරක් පමණක් ධාවනය කර ඇති බැවින් ඒවායේ වටිනාකම අලුත්ම වාහනයක මිලට සමාන වේ. පවතින නීතිමය හිඩැස් ඇතැම් ආනයනකරුවන් විසින් අවභාවිත කිරීම නිසා වෙළෙඳපොළ අසමතුලිතතාවයක් සහ රජයට ආදායම් අලාභයක් සිදුවේ.
ස්ථාවර අනුපාතයක් වෙනුවට වාහනයේ වයස මත පදනම් වූ ව්‍යුහගත සහ විනිවිද පෙනෙන ක්ෂයවීම් රාමුවක් උපරිම 10%ක සීමාවකට යටත්ව ක්‍රියාත්මක කරන ලෙස CMTA යෝජනා කරයි. වාහන මිල පාලනය රජයේ අරමුණ නම්, වෙළෙඳපොළේ එක් කොටසකට පමණක් වාසි සැලසීම වෙනුවට අලුත්ම වාහන සඳහා ද එකසේ බලපැවැත්වෙන ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සංගමය පෙන්වා දෙයි. අලුත්ම වාහන මිලදී ගන්නා පාරිභෝගිකයින්ට නිෂ්පාදකයාගේ වගකීම් සහතිකය හිමිවීමෙන් නඩත්තු වියදම් අවම වී දිගුකාලීන වටිනාකමක් ලැබෙන බව ද ඔවුන් සිහිපත් කරයි.
රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීමේ උත්සාහයන් සාර්ථක කර ගැනීම සඳහා මෙම ආදායම් කාන්දුව වහාම නතර කරන ලෙසත්, ක්ෂයවීම් සහනය අහෝසි කරන ලෙසත් CMTA අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.














