පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් මහතා වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් පසුගිය ජූනි 23 වන දින කොළඹදී සංවිධානය කෙරිණි.
මෙම හමුව සඳහා විදේශ රාජ්‍ය දූත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රතිපත්ති විශේෂඥයින්, ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන අංශ නියෝජනය කරන පිරිසක් සහභාගී වූහ. දේශීය හා කලාපීය වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් මෙහිදී නිර්මාණාත්මක සංවාදයක් ඇති විය.
ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දියානු සාගර කලාපයක් ප්‍රවර්ධනය කිරීමේදී කුඩා සමුද්‍රීය රාජ්‍යයන්ගේ සුවිශේෂී භූමිකාව පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් කපූර් මහතා සිය දෘෂ්ටිකෝණය ඉදිරිපත් කළේය. වර්තමාන භූ-දේශපාලනික හා ආර්ථික වර්ධනයන්, කලාපීය සම්බන්ධතා, සමුද්‍රීය ආරක්ෂාව සහ වෙළඳාම වැනි ක්ෂේත්රවල සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඉන්දු-පැසිෆික් කලාපයේ වෙනස් වෙමින් පවතින ගතිකත්වයන්ට මුහුණ දීම සඳහා හවුල්කාරිත්වය සහ දැනුම හුවමාරුව අත්‍යවශ්‍ය බව අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වාධීන චින්තන කේන්ද්‍රයක් ලෙස පාත්ෆයින්ඩර් පදනම ජාතික හා ගෝලීය වැදගත්කමක් ඇති කරුණු පිළිබඳ මෙවැනි සංවාද ප්‍රවර්ධනය කරමින් තිරසාර ආර්ථික වර්ධනයක් සහ කලාපීය ස්ථාවරත්වයක් සඳහා අවශ්‍ය උපායමාර්ග ගොඩනැගීමට දායක වේ.
මෙම අවස්ථාවට ඇමරිකානු තානාපතිනි (වැඩ බලන) ජෙනි හොවෙල්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෝ පැට්රික්, නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් ඇතුළු විදෙස් දූත මණ්ඩල ප්‍රධානීන් මෙන්ම මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරික නායකයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















