ශ්‍රී ලංකාවේ සමස්ත ඉඩම් පද්ධතිය ඩිජිටල්කරණය කර ජාලගත කිරීමේ වැඩසටහන පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
රටේ ඉඩම් තොරතුරු නවීන ඩිජිටල් පද්ධතියකට ගෙන ඒම මගින් මෙතෙක් පැවති ඉඩම් ඔප්පු ලබා ගැනීම, පත්ඉරු ලබා ගැනීම සහ රජයේ ඉඩම් ආයෝජකයින් වෙත හඳුන්වාදීම වැනි කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.
සාකච්ඡාවේදී දැනට පවතින රජයේ දත්ත පද්ධති සමඟ නව ඉඩම් ජාලගත කිරීමේ පද්ධතිය ඒකාබද්ධ කිරීම, රජය සතු ඉඩම් ඉක්මනින් ආයෝජන අවස්ථා සඳහා යොමු කර ජනතාවට ඉන් ප්‍රතිලාභ ලබාදීමේ වැදගත්කම සහ මිනින්දෝරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ඉඩම් සිතියම්ගත කිරීමේ දත්ත නව පද්ධතියට ඇතුළත් කිරීම යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මෙම වසර තුළ ව්‍යාපෘතිය අවසන් කර එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීමට හැකි වන පරිදි කටයුතු සූදානම් කරන ලෙසයි.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරුන් සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















