පිලිපීනයේ ටැක්ලෝබන් (Tacloban) ප්‍රදේශයේ සැන් ජෝස් ජාතික මහා විද්‍යාලයේ සිදු වූ දරුණු වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන්, සැකකාර සිසුන් ඇබ්බැහි වී සිටි ‘Gorebox’ නැමැති ජංගම දුරකථන ක්‍රීඩාව තාවකාලිකව තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. මෙම ප්‍රහාරයෙන් සිසුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් විසි දෙනෙකු තුවාල ලැබූහ.
ප්‍රහාරය සම්බන්ධයෙන් වයස අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන සිසුන් දෙදෙනෙකුට චෝදනා එල්ල වී ඇත. පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ ප්‍රහාරයට යොදාගත් ගිනිඅවි බාලවයස්කරුවන් වෙත ලැබී ඇත්තේ ඔවුන්ගේ සමීපතමයන් (නැන්දණිය සහ සීයා) සතු අවිවලින් බවයි. මේ සම්බන්ධයෙන් අදාළ වැඩිහිටියන්ට එරෙහිව පියවර ගෙන තිබේ. 15 හැවිරිදි සිසුවාට එරෙහිව මිනීමැරීමේ චෝදනා ගොනු කර ඇති අතර, 14 හැවිරිදි සිසුවා පිලිපීන නීතියට අනුව සාපරාධී චෝදනාවලට ලක් කිරීමට නොහැකි ලාබාල වයසක පසුවීම හේතුවෙන් නීතිමය ගැටලු මතු වී තිබේ.
අතිශය ප්‍රචණ්ඩකාරී සහ විනාශකාරී ක්‍රියාකාරකම් ඇතුළත් මෙම ක්‍රීඩාව, ජාත්‍යන්තර වයස් වර්ගීකරණ සන්ධානය (IARC) විසින් වැඩිහිටියන්ට පමණක් (R18) සුදුසු ලෙස වර්ගීකරණය කර ඇත. පිලිපීන සයිබර් අපරාධ විමර්ශන සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ, මෙම ක්‍රීඩා වේදිකාව ප්‍රහාරයට යම් අයුරකින් දායක වී ඇත්දැයි පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා එය තාවකාලිකව අවහිර කළ බවයි.
මෙම ඛේදවාචකය හමුවේ පිලිපීන බලධාරීන් අන්තර්ජාලය ඔස්සේ ළමයින් ප්‍රචණ්ඩත්වයට යොමු කිරීමේ බලපෑම් පිළිබඳව සෙනෙට් සභාව විශේෂ විමර්ශනයක් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කර ඇත. බාලවයස්කරුවන්ට ගිනිඅවි ලබා ගැනීමට ඉඩ සලසන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, පාසල් ආරක්ෂණ ක්‍රමවේද සමාලෝචනය කිරීමට සහ හදිසි අවස්ථාවන්හිදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව දරුවන්ට පෙරහුරු ලබා දීමට කටයුතු යොදා ඇත.
එරට අධ්‍යාපන අමාත්‍ය සෝනි ඇන්ගාරා මහතා ප්‍රකාශ කළේ, පාසල් වෙඩි තැබීම් අනුකරණය කරමින් සිදුවන අපරාධ රැල්ලක් තම රට තුළ නිර්මාණය වීමට රජය කිසිසේත්ම ඉඩ නොතබන බවයි.
















