මධ්‍යම තැන්පතු ක්‍රමවේද (CDS) ගිණුම්වල ආරක්ෂාව තහවුරු කිරීම සහ එම ගිණුම් හරහා සිදුවිය හැකි වංචා අවදානම් අවම කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අනුබද්ධිත මධ්‍යම තැන්පතු ක්‍රමවේද සමාගම විසින් නව පියවරක් හඳුන්වා දී තිබේ.
වසර තුනක් හෝ ඊට වැඩි කාලයක් අඛණ්ඩව අක්‍රියව පවතින ගිණුම් “ක්‍රියාකාරී නොවන සේවාදායක ගිණුම්” (Non-Operative Client Accounts) ලෙස වර්ගීකරණය කෙරේ. අදාළ ගිණුම් හිමියා විසින් නැවත සක්‍රිය කරන තෙක් එම ගිණුම්වල ගනුදෙනු සහ අනෙකුත් කටයුතු සීමා කරනු ලැබේ. මෙම අත්හිටුවීමේ ක්‍රියාවලිය අදියර වශයෙන් සිදු කෙරේ. මෙම තත්ත්වය තාවකාලික එකක් වන අතර, එමඟින් ගිණුම් හිමියාගේ සුරැකුම්පත් හිමිකාරීත්වයට බලපෑමක් සිදු නොවේ. එසේම, ලාභාංශ සහ අනෙකුත් ආයතනික හිමිකම් ලැබීමට ද කිසිදු බාධාවක් නොමැත.
ගිණුම් හිමියන්ට ඕනෑම වේලාවක ඉතා පහසුවෙන් ගිණුම නැවත සක්‍රිය කර ගැනීමේ පහසුකම පවතී. ඒ සඳහා කොළඹ කොටස් හුවමාරු (CSE) ජංගම දුරකථන යෙදවුමේ (Mobile App) ඇති ‘Non-Operative Reactivation’ විකල්පය හෝ CDS නිල වෙබ් අඩවිය භාවිතා කළ හැකිය. ආයෝජකයන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ගනු ලැබූ මෙම පියවර හරහා මධ්‍යම තැන්පතු ක්‍රමවේදයේ විනිවිදභාවය තවදුරටත් ඉහළ නැංවෙනු ඇත.
















