ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ විශේෂ නියෝජිත ආචාර්ය නජාත් මල්ලා එම්ජිඩ් (Dr. Najat Maalla M’jid) මහත්මිය ඇතුළු UNICEF නියෝජිත පිරිසක් අද (25) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවිය.
ශ්‍රී ලංකාව තුළ දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කිරීම මෙන්ම දරුවන්ට එරෙහි හිංසනයන් වැළැක්වීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාව ප්‍රතිපත්ති සකස් කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණද, එම ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රධාන අභියෝගයක් බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය. ළමා ආරක්ෂණය සම්බන්ධ ආයතනික ධාරිතාව, මානව සම්පත් ගැටලු විසඳීම සහ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ වැදගත්කම ඇය මෙහිදී අවධාරණය කළාය. එමෙන්ම ඩිට්වා සුළි කුණාටු ආපදා අවස්ථාවේ UNICEF ලබාදුන් සහාය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ලබාදෙන සහයෝගය ඇය අගය කළාය.
ළමා ආරක්ෂණ පද්ධතිවල ගැටලු විසඳීම සඳහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ විශේෂ නියෝජිතවරිය, දරුවන්ට එරෙහි හිංසන වාර්තා කිරීමට සහ සහාය ලබා ගැනීමට පැහැදිලි හා පහසුවෙන් ප්‍රවේශ විය හැකි යාන්ත්‍රණයක වැදගත්කම පෙන්වා දුන්නාය. එසේම, උපදේශන සේවා, අවදානම් කල්තියා හඳුනාගැනීම සහ දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව ඇය පැහැදිලි කළාය. විශේෂයෙන්ම, ඩිජිටල් පරිසරය තුළ සහ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුවන හිංසන හා අපයෝජන වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
මෙම අවස්ථාවට UNICEF ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් (Emma Brigham), ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ආන්ඩ්‍රේ ෆ්රාන්ෂ් (Marc-André Franche) යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















