දඬුවම් ලබන හෝ රක්ෂිත බන්ධනාගාරගත වන පුද්ගලයන්ගෙන් සියයට අනූවක් මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් බවත්, ඉන් සියයට හැත්තෑවක් අවම වශයෙන් සාමාන්‍ය පෙළ විභාගය හෝ සමත් නොවී පාසල් අධ්‍යාපනය අතරමග නතර කළ අය බවත් මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පවසයි.
මාතලේ ශාන්ත තෝමස් (බාලක) ජාතික විද්‍යාලයේ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේය. වත්මන් තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදා ගැනීම දෙමාපියන්, ගුරුවරුන් සහ මුළු මහත් සමාජයේම වගකීමක් බව ඔහු අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දරුවන් තම ගොදුරු කර ගැනීමට විවිධ අවස්ථාවාදී උපාය මාර්ග භාවිතා කරන බැවින්, ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවීමේ වැදගත්කම ද හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට විදුහල්පති ධම්මික හේවාවසම්, මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක, මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් සුරංග වීරද්දන සහ අන්තරායකර ඖෂධ ජාතික පාලක මණ්ඩලයේ මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිහතමානී බුලත්සිංහල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















