ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය නවීකරණය කරමින්, රටේ සියලුම ඉඩම් තොරතුරු එකම ඩිජිටල් ජාලයක් යටතට ගෙන ඒමේ අභිලාෂකාමී වැඩසටහනක් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් දියත් කර තිබේ. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ගොවිජන මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණාත්මක පියවර පිළිබඳව මූලික සැලසුම් සකස් කෙරිණි. දශක ගණනාවක් පුරා ඉඩම් ඔප්පු ලබාගැනීම, පත්ඉරු නිකුත් කිරීම සහ ඉඩම් ගනුදෙනු සඳහා මහජනතාව මුහුණ දුන් ප්‍රමාදයන් සහ රස්තියාදු වීම් අවසන් කිරීම මෙම නව වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම නවීන දත්ත පද්ධතිය මගින් දැනට පවතින රජයේ දත්ත පද්ධති සියල්ල එකම තලයකට ඒකාබද්ධ කෙරෙන අතර, මිනින්දෝරු දෙපාර්තමේන්තුව සතු ඉඩම් සිතියම්ගත කිරීමේ දත්ත ද මෙම පද්ධතියට ඇතුළත් කිරීමට නියමිතය. රජයට අයත් ඉඩම් විධිමත් ආයෝජන අවස්ථා සඳහා යොමු කිරීමේදී පවතින නෛතික හා පරිපාලනමය බාධක ඉවත් කර, එමගින් ජනතාවට සහ ආර්ථිකයට උපරිම ප්‍රතිලාභ ලබා දීම රජයේ අපේක්ෂාවයි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහයෝගයද ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ලබන වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කර මහජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය හරහා ශ්‍රී ලංකාවේ ඉඩම් පරිපාලනය තුළ විනිවිදභාවය සහ කාර්යක්ෂමතාව ඉහළ යන අතර, ඉඩම් හිමියන්ට මෙන්ම ආයෝජකයින්ට ද ක්ෂණිකව සහ නිවැරදිව තොරතුරු ලබාගැනීමේ පහසුකම උදාවනු ඇත. රාජ්‍ය සේවයේ පවතින පැරණි ක්‍රමවේදයන් නවීන තාක්ෂණය සමඟ ප්‍රතිස්ථාපනය කිරීම මගින්, දූෂණය සහ අක්‍රමිකතා අවම කරමින් ජනතාවගේ කාලය සහ ශ්‍රමය ඉතිරි කරන සේවාවක් ස්ථාපිත කිරීම අමාත්‍යාංශයේ ඉදිරි දැක්මයි. මෙය ශ්‍රී ලංකාවේ ඉඩම් කළමනාකරණ ක්ෂේත්‍රයේ සිදුවන සුවිශේෂීම සහ යහපත් හැරවුම් ලක්ෂය වනු නොඅනුමානය.
















