දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ වැඩසටහනට සහාය දැක්වීම සහ ඉදිරි කාලයේදී අපේක්ෂිත එල්-නිනෝ (El-Niño) කාලගුණික බලපෑම් කළමනාකරණය කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ සිංගප්පූරුවේ Buddhist Tzu Chi Merit Organization නියෝජිතයන් අතර අද (25) ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ආපදා කළමනාකරණය, සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සංස්කෘතික වැඩසටහන් ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ශ්‍රී ලංකාවේ සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා දායක වීමට එම සංවිධානය කැමැත්ත පළ කර තිබේ.
මෙරට සිදුවන සෑම ස්වභාවික ආපදා තත්ත්වයකදීම Buddhist Tzu Chi Merit Organization වෙතින් ලැබෙන අඛණ්ඩ සහයෝගය අගය කළ ජනාධිපති ලේකම්වරයා, රජයේ ‘Clean Sri Lanka’ වැඩසටහන සමඟ එක්ව අනාගතයේදී දියත් කළ හැකි ඒකාබද්ධ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ගෙන යන කඩිනම් වැඩපිළිවෙළට, මෙම ජාත්‍යන්තර සංවිධානයේ දායකත්වය ලබා ගැනීම තුළින් වින්දිතයන්ට වඩාත් සාර්ථක සහන සේවාවක් සැලසීමට රජයට හැකිවනු ඇත.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ Clean Sri Lanka ලේකම් කාර්යාලයේ නියෝජිතයන් මෙන්ම, Buddhist Tzu Chi Merit Organization හි ශ්‍රී ලංකා සත්කාර කණ්ඩායමේ නායක Keng Lim මහතා ඇතුළු සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ. ආපදා කළමනාකරණ කටයුතු ශක්තිමත් කරමින් ජාත්‍යන්තර ආධාර සහ දේශීය වැඩසටහන් බද්ධ කර ගනිමින් සිදුකරන මෙම සමාජ සත්කාරක ක්‍රියාවලිය, රටේ අනාගත ස්ථාවරත්වය සහ ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් ගනු ලබන වැදගත් පියවරක් ලෙස සැලකේ.
















