අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ සිදුකරන දීමනා ගෙවීම් සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව, මින් ඉදිරියට මෙම දීමනා හිමිවන්නේ සෘජුවම ‘දුප්පත්’ සහ ‘අන්ත දිළිඳු’ ලෙස වර්ගීකරණය කර ඇති පවුල් සඳහා පමණක් බව එම මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශ කරයි.
2023 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහනේ දෙවන අදියර මේ වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ වන විට ප්‍රතිලාභීන්ගේ දත්ත යාවත්කාලීන කිරීමේ කටයුතු සිදු කෙරේ. පසුගිය වසරවල කාණ්ඩ හතරක් යටතේ ලක්ෂ 16කට අධික පිරිසකට මෙම ප්‍රතිලාභ හිමිවුවද, ප්‍රතිපත්තිමය තීරණයක් මත මේ වන විටත් ඇතැම් කාණ්ඩවල දීමනා අත්හිටුවීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම, 315,000කින් සමන්විත වූ ‘සංක්‍රාන්තික’ කාණ්ඩයට 2025 අප්‍රේල් මාසයේදීත්, 425,000ක පිරිසක් සිටින ‘අවදානමට ලක්වූ’ කාණ්ඩයට ජුනි මාසයේ සිටත් දීමනා ලබාදීම නවතා දමා තිබේ.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සහකාර කොමසාරිස් අශාන් දර්ශක මහතා සඳහන් කළේ, දීමනා අත්හිටුවූ මෙම කාණ්ඩ දෙකේ පසුවන පවුල් අතරින්, වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ යළිත් අන්ත දිළිඳු හෝ දුප්පත් කාණ්ඩයට ඇද වැටී සිටින පවුල් වෙතොත් ඔවුන්ට යළිත් සුදුසුකම් සලකා බලා ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව පවතින බවයි. සැබෑ අවශ්‍යතා ඇති පිරිස් වෙත පමණක් රජයේ සහන කඩිනමින් සහ විනිවිදභාවයකින් ලබාදීම මෙම නව ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණයි.
















