ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ සේවාව පුළුල් කිරීමේ අරමුණින් නව බස් රථ 600ක් ආනයනය කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මෙයින් අධිවේගී මාර්ග සඳහා සුඛෝපභෝගී බස් රථ 200ක් සහ සාමාන්‍ය මාර්ග සඳහා බස් රථ 400ක් ලෙස දෙසැම්බර් මාසය වන විට මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරේ.
මෙම බස් රථ 600 ගෙන ඒම සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති අතර, ඊට අදාළ ටෙන්ඩර් ලියවිලි සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ ඇති බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම බස් රථ දිවයින පුරා පවතින ඩිපෝ වෙත බෙදා දීමට නියමිතය.
මේ අතර, දැනට මිලදී ගෙන ඇති නව මෙට්‍රෝ බස් රථ 104ක් අගෝස්තු 15 වැනිදා වන විට දිවයිනට ලැබීමට නියමිතය. එම බස් රථවල කාඩ්පත් මගින් ගෙවීම් සිදු කිරීමේ පද්ධති ස්ථාපනය කිරීමෙන් පසු සැප්තැම්බර් 20 වැනිදාට පෙර ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යාංශය සඳහන් කරයි.
සේවක ගැටලු සඳහා විසඳුමක් ලෙස, අනාගතයේදී රියැදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීමේදී පළාත් මට්ටමින් බඳවා ගැනීමට තීරණය කර ඇත. එමගින් සේවය අතහැර යන පිරිස අවම කරගත හැකි වනු ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
















