හෘදය සහ රුධිර නාළ පද්ධතිය ආශ්‍රිත රෝග හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කඩිනම් කිරීම සඳහා අති නවීන ‘කැතීටකරණ පද්ධති’ (Cath Labs) හතරක් සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. රුපියල් මිලියන 1200ක වියදමින් ස්ථාපනය කෙරෙන මෙම එක් ඒකකයක වටිනාකම රුපියල් මිලියන 300කි.
හෘද රෝගී ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව යාපනය ශික්ෂණ රෝහලට ජුනි 27 වැනි දිනත්, කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ජුනි 30 වැනි දිනත් සහ කොළඹ ජාතික රෝහලට ජුලි 02 වැනි දින ඒකක 02ක් වශයෙන් ද මෙම නවීන තාක්ෂණය සහිත යන්ත්‍ර එක් කෙරේ.
‘Canon Alphenix Core+ Evolve Edition’ නමැති මෙම අති නවීන පද්ධති කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ තත්කාලීන (Real-time) රූපකරණ තාක්ෂණයෙන් සමන්විත වේ. මේ හරහා විකිරණ මාත්‍රාව සැලකිය යුතු ලෙස අඩු කරමින් ඉහළ ගුණාත්මක රූප ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, එමඟින් වෛද්‍යවරුන්ට වඩාත් ආරක්ෂිතව සහ විශ්වාසදායක ලෙස සංකීර්ණ හෘද මැදිහත්වීම් සිදු කළ හැකිය.
මෙම කැතීටකරණ පද්ධති මගින් ඇන්ජියෝග්‍රැෆි පරීක්ෂණ, ඇන්ජියෝප්ලාස්ටි ප්‍රතිකාර, ස්ටෙන්ට් තැන්පත් කිරීම, හෘද කපාට ආශ්‍රිත ප්‍රතිකාර සහ හෘද රිද්ම අසාමාන්‍යතා සඳහා වන පරීක්ෂණ ඇතුළු ජීවිතාරක්ෂක ප්‍රතිකාර රැසක් සිදු කිරීමට නියමිතය. මෙම තාක්ෂණය මගින් විවෘත ශල්‍යකර්මවල අවශ්‍යතාව අවම කරමින් රෝගීන්ට වේගවත් සහ ආරක්ෂිත ප්‍රතිකාර ලබා දීම ද විශේෂත්වයකි.
















