ශ්‍රී ලංකාවේ නැටුම් කලාව තුළ වඩ වඩාත් ජනප්‍රිය වෙමින් පවතින බැලේ කලාව, රුසියානු සම්භාව්‍ය සම්ප්‍රදායන්ට අනුකූලව ඉදිරිපත් කෙරෙන ‘Once Upon a Silver Stage’ ප්‍රසංගය ජුනි 27 වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වේ. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රුසියානු බැලේ සහ නර්තන පාසල විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය මගින් රුසියානු සම්භාව්‍ය බැලේ කලාවේ අලංකාරය සහ තාක්ෂණික නිපුණතාව ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයන් හමුවට ගෙන ඒම අරමුණු කෙරේ.
රුසියානු මන්දිරයේ සංස්කෘතික නිලධාරිනි චන්දි අලුවිහාරේ මහත්මිය පවසන්නේ, වයස් භේදයකින් තොරව කුඩා දරුවන්ගේ සිට විශාල පිරිසක් බැලේ කලාව ඉගෙනීමට විශාල උනන්දුවක් දක්වන බවයි. මෙම ප්‍රසංගය සඳහා විවිධ වයස් කාණ්ඩවල සහ පුහුණු මට්ටම්වල සිසුන් සහභාගී වන අතර, මාස ගණනාවක් පුරා ඔවුන් දැක්වූ කැපවීම සහ පුහුණුව මෙහිදී වේදිකාගත කෙරේ.
රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පොපෝවා මහත්මිය සඳහන් කළේ, කලාව හරහා සංස්කෘතීන් අතර අවබෝධය ගොඩනැගීම සහ රුසියානු බැලේ කලාවේ දිගු ඉතිහාසය ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීම තම මූලික අරමුණ බවයි. පියවි වචන භාවිතයකින් තොරව සංගීතය සහ චලනය හරහා කතාවක් කීමට බැලේ කලාවට ඇති හැකියාව මෙම ප්‍රසංගය හරහා මැනවින් විදහා දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ආවේණික කලාවක් නොවූවත්, විවිධ කලා සම්ප්‍රදායන් වැළඳ ගැනීමට මෙරට සිසුන් දක්වන කැමැත්ත මෙමගින් තහවුරු වන බවත්, ඉදිරියේදීත් මෙවැනි සංස්කෘතික වැඩසටහන් හරහා දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
















