බෝ නොවන රෝග පාලනය කිරීමේ අරමුණින්, රෝගීන් තමා භාවිත කරන ඖෂධ පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම වැඩසටහන යටතේ උපාධිධාරී ඖෂධවේදීන්ගේ දැනුම සහ කුසලතා සෘජුවම රෝගී සත්කාරක සේවාව සඳහා දායක කර ගැනීමට නියමිතය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. එම සාකච්ඡාවේදී අවධානය යොමු වූ කරුණු කිහිපයක් පහත දැක්වේ:
‘ආරෝග්‍යා’ සුවතා මධ්‍යස්ථාන හරහා රෝගීන්ට ඖෂධ නිකුත් කිරීමේදී, එම ඖෂධවල ක්‍රියාකාරීත්වය, ඒවා ලබාගත යුතු නිසි ආකාරය සහ සිදුවිය හැකි අතුරු ආබාධ වළක්වා ගන්නා ආකාරය පිළිබඳව රෝගීන් වෙත මනා අවබෝධයක් ලබා දීමට උපාධිධාරී ඖෂධවේදීන්ගේ සේවය යොදා ගැනේ.
රෝගීන් තම ඖෂධ පිළිබඳව දැනුවත් වීම තුළින් වෛද්‍යවරයා අපේක්ෂා කරන සම්පූර්ණ ප්‍රතිඵලය රෝගියාට ලබාගත හැකි වීමත්, ඖෂධ අනිසි ලෙස භාවිත වීම නිසා ඇතිවන අතුරු ආබාධ අවම කර ගැනීමත් මෙහි මූලික අරමුණයි.
සායනික ඖෂධවේදය (Clinical Pharmacy) රෝහල් පද්ධතිය තුළ ආරම්භ කිරීම, ඖෂධවේදී සභාව ස්ථාපිත කිරීම සහ රාජකාරී වේලාවෙන් පසු පෞද්ගලික සේවයේ යෙදීමට අවස්ථාව ලබා දීම වැනි රජයේ ඖෂධවේදීන්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් කෙරෙහිද අමාත්‍යවරයාගේ අවධානය යොමු විය.
ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවන උපාධිධාරී ඖෂධවේදීන්ගේ දැනුම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීමට උපයෝගී කර ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
















