බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වාර්ෂිකව සංවිධානය කරන 42 වැනි ‘ජාතික මිලාද් – දුන් නබි සැමරුම් උත්සවය’ මෙවර ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු මස 26 වැනි දින මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් මුස්ලිම් ජාතික පාසලේදී පැවැත්වේ.
මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අගමැතිනි හරිනි අමරසූරිය මෙනෙවියගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර, ඒ පිළිබඳ මූලික සංවිධාන කටයුතු ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමැති මුනීර් මුලෆ්ෆර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡා කෙරිණි.
උත්සවයේ වැදගත් කරුණු කිහිපයක් පහත දැක්වේ:
ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක පිහිටි මුස්ලිම් පල්ලි 12ක් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් ලබාදීමට නියමිතය.
උත්සවයට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාවගේ සංස්කෘතිය සහ ඓතිහාසික වටිනාකම පිළිබඳ ග්‍රන්ථයක් එළිදැක්වීම සහ සැමරුම් මුද්දරයක් නිකුත් කිරීම සිදු කෙරේ.
උත්සවය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය ආයතන ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, මුස්ලිම් ආගමික නායකයින්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් ප්‍රධානීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















