ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) දශක තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ එහි අධ්යක්ෂ ජනරාල් රේණුකා එම්. වීරකෝන් මහත්මිය ඊයේ (25) දින නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම ආයතනය නිවේදනය කරයි.
වීරකෝන් මහත්මිය ආයෝජන මණ්ඩලය තුළ සිය වෘත්තීය ජීවිතය තුළ දැරූ විවිධ තනතුරු සහ ඉටුකළ සේවාවන් පිළිබඳව ආයතනය අගය කර තිබේ. ඇය සිය සේවා කාලය තුළ කලාපීය සංවර්ධන දෙපාර්තමේන්තුව, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දෙපාර්තමේන්තුව, ආයෝජන ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව, අධ්යක්ෂ ජනරාල් ලේකම් කාර්යාලය සහ ව්‍යාපෘති අධීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි අංශ කිහිපයකම සේවය කර ඇත. මීට අමතරව ඇය වසර පහක කාලයක් ආයෝජන මණ්ඩලයේ ලේකම්වරිය ලෙසද කටයුතු කර තිබේ.
ඇය ආයෝජන මණ්ඩලයේ සේවයට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සහ ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) අධ්යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරමින් රටේ ආර්ථික සංවර්ධන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දී ඇත.
















