පුනර්ජනනීය බලශක්තිය දෙසට සංක්‍රමණය වීම කාලගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සඳහා වන උපායමාර්ගික ආයෝජනයක් බව එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රාන්චේ (Marc-André Franche) මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන පරිදි පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය රටේ බලශක්ති ආරක්ෂාව, ආර්ථික ඔරොත්තු දීමේ හැකියාව සහ මූල්‍යමය තිරසාරභාවය සමඟ සමීපව බැඳී පවතී. නිවැරදි ආයෝජන සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් තුළින් පිරිසිදු බලශක්තියට මාරුවීම හරහා නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටත්, ප්‍රාදේශීය ප්‍රජාවන් ශක්තිමත් කිරීමටත්, ගෝලීය ඉන්ධන මිල උච්චාවචනයන් හමුවේ රට පවතින අවදානම අවම කර ගැනීමටත් හැකි වනු ඇත.
දේශගුණික විපර්යාස අවම කිරීම සහ ආර්ථික සංවර්ධනය එකිනෙක සම්බන්ධව සිදු කළ යුතු බවත්, පුනර්ජනනීය බලශක්තිය පුළුල් කිරීම පාරිසරික අවශ්‍යතාවක් මෙන්ම ජාතික ස්ථාවරත්වය සඳහා වන මාර්ගයක් බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, දේශගුණික විපර්යාසවල තර්ජනයට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාව වැදගත් ඉලක්ක කිහිපයක් සපුරා ගැනීමට පියවර ගනිමින් සිටී:
2035 වසර වන විට හරිතාගාර වායු විමෝචනය 20.09%කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව ප්‍රතිඥා දී තිබේ.
2030 වසර වන විට රටේ විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට ඉලක්ක කර ඇත.
වනාන්තර ආවරණය වැඩි කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය හා අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම තුළින් අපද්‍රව්‍ය අංශයෙන් සිදුවන විමෝචනය අඩු කිරීමටද සැලසුම් කර තිබේ.
















