මොනරාගල සහ සියඹලාණ්ඩුව ප්‍රදේශවලට පසුගිය 24 වැනිදා සවස බලපෑ තද සුළං සහ වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස 42කට බරපතළ හානි සිදුවී ඇති බව මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. මෙම ආපදාවෙන් මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාගන්දනමුල්ල, ප්‍රගති මාවත සහ විහාරමුල්ල යන ප්‍රදේශවල නිවාස 18කට හානි සිදුවී ඇති අතර, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නුගගහකිවුල ප්‍රදේශයේ නිවාස 24ක වහලවල් ගැලවී ගොස් ඇත.
තද සුළං හේතුවෙන් ප්‍රදේශයේ අතුරු මාර්ග කිහිපයක් ගස් කඩා වැටීමෙන් අවහිර වී විදුලිය ද විසන්ධි වී තිබූ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් එම මාර්ග යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම, නුගගහකිවුල ප්‍රදේශයේ නිවසකට ගසක අත්තක් කඩා වැටීමෙන් තුවාල ලැබූ 35 හැවිරිදි කාන්තාවක් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
ආපදාවට ලක්වූ ජනතාවට සහන සැලසීම වෙනුවෙන් එදින රාත්‍රියේ පිසූ ආහාර ලබාදීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එච්. රවීන්ද්‍ර කුමාර මහතා සඳහන් කළේය. හානි වූ නිවාස ගණනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර, ඒ සඳහා අදාළ වන්දි මුදල් ලබාදීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
















