ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරමින් වඩාත් නිවැරදි, වේගවත් සහ සාක්ෂි මත පදනම් වූ තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවර්ධනය කරන ලද “වැවිලි ක්ෂේත්‍ර තීරණ සහාය පද්ධතිය” (Plantation Sector Decision Support System – DSS) පසුගියදා (25) නිල වශයෙන් ජනගත කෙරිණි.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී, අදාළ ඩිජිටල් දත්ත පද්ධතිය රජය සතු ඩිජිටල් පොදු වත්කමක් (Digital Public Asset) ලෙස අමාත්‍යාංශය වෙත නිල වශයෙන් භාරදීම සිදුවිය. මෙම ව්‍යාපෘතිය අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය එක්ව, Integrated Digital Agriculture Transformation (IDAT) වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර ඇත.
මෙම පද්ධතියේ ඇති ප්‍රධානතම සුවිශේෂීත්වය වන්නේ මීට පෙර විවිධ වැවිලි ආයතන මඟින් වෙන වෙනම පවත්වාගෙන ගිය දත්ත පද්ධති වෙනුවට, සමස්ත ක්ෂේත්‍රයට අදාළ තොරතුරු එකම ඩිජිටල් වේදිකාවක් (Single Platform) ඔස්සේ නිරීක්ෂණය කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට හැකියාව ලැබීමයි. තේ, රබර්, පොල් සහ කජු යන ප්‍රධාන භෝග ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන හතක දත්ත මේ හරහා ඒකාබද්ධ කර ඇත.
පද්ධතිය මඟින් ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, කාලගුණ විපර්යාසයන්ගේ බලපෑම තක්සේරු කිරීම, සහනාධාර හා ආයෝජන වැඩසටහන්වල ප්‍රගතිය අධීක්ෂණය කිරීම සහ ප්‍රතිපත්තිමය තීරණ සඳහා අවශ්‍ය විශ්වාසදායක දත්ත සැපයීම සිදු කෙරේ.
අදහස් දැක්වූ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, වැවිලි ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීම තුළින් වගාකරුවන්ගේ තොරතුරු නිවැරදිව එකතු කර ගැනීමටත්, නිෂ්පාදන සහ අපනයන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමටත් විශාල රුකුලක් ලැබෙන බවයි. කඩදාසි ගොනු වෙනුවට පරිගණක පද්ධති සහ ජංගම දුරකථන යෙදවුම් හරහා ඉතාම ඉක්මනින් දත්ත ලබාගැනීමේ හැකියාව පවතින බවත්, දත්ත මත පදනම් වූ රාජ්‍ය පාලනයක් සඳහා මෙය අත්‍යවශ්‍ය මෙවලමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ව්‍යාපෘතිය සඳහා ගෝලීය ගේට්ස් පදනම අනුග්‍රහය දක්වා ඇති අතර, ‘Connect to Care Global’ ආයතනය, සර්වෝදය ආයතනය, MIT ESP ආයතනය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) දායක වී ඇත.
















